සිරිපා සත්කාරය – 2024

සිරිපා කරුණාව පෙරදැරිව, සොබා දහමට ආදරය කරමින් රැක බලාගැනීමේ ආදර්ශය සමාජගත කිරීමේ අභිප්‍රාය ඇතිව පැල්මඩුල්ල රාජමහ විහාරාධිපති,
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයීය හිටපු කුලපති, ශ්‍රී පාදස්ථානාධිපති
පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න මහ නාහිමිගේ අනුශාසකත්වයෙන් හා මග පෙන්වීමෙන් , නුවරඑළිය හා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන්හි සම්බන්ධීකරණය හා සහභාගීත්වය ඇතිව “මනුසත් දෙරණ” හා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ‘වනසමුද රැකගමූද ‘ යන තේමාව යටතේ
” KDU – මනුසත් දෙරණ සිරිපා සත්කාරය 2024 ” මැයි මස17 හා 18 දෙ දින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

දැනුවත් කිරීම හා ශ්‍රම දායකත්වය තුළින් පූජනීය සිරිපා අඩවිය පවිත්‍රව තබා ගැනීමේ වැදගත්කම සමාජ ගත කිරීම මෙම සමාජ සත්කාරක ව්‍යාපෘතියෙහි මූලික අරමුණයි.

සිරිපා අඩවිය සිය වාස භූමිය කරගත්
සතා-සීපාවා සිරිපා සමයට ඉඩ දී සැදැහැවතුන් තුළ ශ්‍රද්ධා භක්තිය වඩන්නට සැඟව නිහඬව බලා සිටිති. සැදැහැ සිත් තුළ සංහිඳියාව නො බිඳ සොබා දහම නිහඩව බලා සිටින්නාක් මෙන්, මිනිස් අප ද කටයුතු කිරීමේදී සොබා දහමේ සංහිඳියාව නො බිඳිය යුතුය යන ආදර්ශය මෙමගින් සමාජ ගතවනු ඇතැයි අපේක්ෂිතය.

සිරිපා අඩවිය ජෛව විද්‍යාත්මක වශයෙන් ඉතා ඉහළ වටිනාකමක් ඇති සංවේදී පරිසර කලාපයකි. දුරාතීතයේ සිට සිරිපා කරුණා කළ බැතිමත්හු සිය පා සටහන් පමණක් සිරිපා අඩවියෙහි තබා ගියහ. නමුත් වර්තමානයේ සිරිපා කරුණාවෙහි යෙදෙන අති බහුතරයක් සාම්ප්‍රදායික වත්පිළිවෙත් වලින් බැහැරව තමන් රැගෙන ගිය ප්ලාස්ටික් බෝතල් , පොලිතීන් වැනි නො දිරන අපද්‍රව්‍ය ස්වයං විනයකින් තොරව, මහ මග දමා යති.

පරිසරවේදීන්ගේ විශ්ලේෂණ දත්ත අනුව සිරිපා වාරයේදී අවට පරිසරයට මුදාහරිනු ලබන නොදිරන ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් සිය ගණනකි.

දහම් සුවඳ පැතිරෙන සිරිපා අඩවිය ම කැලි කසළ වලින් අපිරිසිදු වීම අශෝභන දසුනකි.

ප්ලාස්ටික් හා පොලිතීන් වැනි දිරාපත් නො වන අපද්‍රව්‍ය පරිසරයට අවම ලෙස බැහැර කිරීම තුළින් සිරිපා අඩවියෙහි සොබා සිරිය හා පාරිසරික සමතුලිතතාවය ආරක්ෂා කිරීම අපේ ජාතික වගකීමකි.

මැයි 17 වෙනිදා කොටුව දුම්රිය ස්ථානයේ සිට හැටන්-නල්ලතන්නිය මාර්ගය, එරත්න-කූරුවිට මාර්ගය හා රත්නපුර-පලාබද්දල මාර්ගයන් ඔස්සේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථයන් කණ්ඩායම් ලෙස උඩ මළුවට කරුණා කරමින් ප්ලාස්ටික් හා පොලිතීන් අපද්‍රව්‍ය පරිසරයට බැහැර කිරීම නිසා සිදුවන පරිසරික හානිය පිළිබඳව බැතිමතුන් දැනුවත් කිරීමට අපේක්ෂිතය.

මැයි 18 වෙනි දා උදෑසන උඩ මළුවේ සිට ප්‍රධාන මාර්ගයන් තුන ඔස්සේ ක්‍රමයෙන් පහළට බසිමින්, පරිසරය පවිත්‍ර කිරීමේ
” සිරිපා සත්කාරය” ආරම්භ කිරීමට නියමිත ය. එම පිරිස බැතිමතුන් මාර්ගය දෙ පස බැහැර කරන ලද ප්ලාස්ටික් හා පොලිතින් ඇතුළු නො දිරන අපද්‍රව්‍ය එක් රැස් කර බැහැර කරන ස්ථාන කරා රැගෙන ඒමට නියමිත ය.

මෙම පරිසර හිතකාමී සමාජ සත්කාර වැඩසටහන
විශ්වවිද්‍යාලයීය KDU Rotract Club සහ KDU National Rover
Crew, විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය ප්‍රජාව හා එක්ව සංවිධානය කරයි.
විශ්ලේෂණාත්මක අධ්‍යයන වැඩසටහනක් ලෙස කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය ආපදා කළමනාකරණ හා පර්යේෂණ මධ්‍යස්ථානය මෙම පාරිසරික ගැටලුවලට දීර්ඝකාලීන විසඳුම් යෝජනා කිරීමේ අපේක්ෂාවෙන් ඊට අවශ්‍ය පාරිසරික දත්ත හා තොරතුරු රැස්කිරීමට ද අපේක්ෂිතය.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය උපකුලපති රියර් අද්මිරාල් ධම්මික කුමාර මහතාගේ මග පෙන්වීම හා අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය සංවිධානය කරනු ලබයි.